Search This Blog

Tuesday, July 31, 2018


                                 දස්කොන් සකි සඳ ......









සක්මන් කරන මළුව පාළුයි දේවි
මං විතරයි ඔබ කිසි දිනෙක නොඑවී
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසද මා ඔබේ කුමාරි

සෙංකඩගල වටකල පවුරු වළල්ලේ
පෙම් ගී ගැයූ විහගුන් හැපී වැටෙන්නේ
රන්තරු දෑස පියන රෑ හදපානේ
අත්තන මලක් වෙලා ඔබ ලග ඉන්නේ

වාසල මිනිබැදි දොර අරින වෙලාවේ
දෑසින් වැටෙන කදුළු මට සිහිනොවුනේ
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
මා තනි කරන්නෙපා මතු සංසාරේ  


 
ශ්‍රී ලංකාවේ  කන්ද උඩරට සෙංකඩගල නුවර ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ පාලන සාමය තුළ සිදු වූ සිදුවීම් පෙලක් පාදක  කරගෙන රත්නත් ශ්‍රී විජේසිංහයන් විසින් මෙම ගීතය රචනා කර ඇත .රත්නත් ශ්‍රී, ලාංකීය ගීත කලාව තුළ නොමැකෙන සටහනක් තැබූ ගී පද රචකයෙකි .ලාංකීය ප්‍රවීන ගායක ගායිකාවන්ට බොහෝ ගීත රචනා කරන ලද ගී පද රචකයෙකි .ඔහුගේ ගීත තුළ අපුර්ව වූ  කලාවක් දැකගැනීමට හැකිය .


මෙම ගීතය ගායනා කරන්නේ කරුණාරත්න දිවුල්ගනේ සහ සමිතා එරන්දතී මුදුන් කොටුවයි .මොවුන් දෙදෙනා මම ගීතයට ගායනය තුලින් සාධාරණයක් ඉටු කිරීමට සමත්ව ඇත .දිවුල්ගනේ යනු ලංකාවේ ප්‍රවීන ගායකයෙකි .සමිතා මෙම ගීතය ගායනා කරන්නේ ඇය ගායනයට යොමු වූ මුල් අවදියේය .මෙම ගීතයේ සංගීතය ලංකාවේ ප්‍රවීන ගායකයෙකු වන ගුණදාස කපුගේ මහතා විසින් සපයා ඇත .ඔහු මෙම ගීතයට සංගීතය මගින් සාධාරණයක ඉටු කර ඇත .

අනියම් වූ ප්‍රේමයක් මුල්කරගෙන නිර්මාණය වූ මෙම ගීතයෙන් කියවෙනේ විරහවේ වේදනාවයි. තමා ආදරය කරන ආදරවන්තයගේ  වෙන් වීමේ දුක මෙම ගීතයට පදනම් වී ඇත.

මෙම ගීතය සදහා පදනම සකස් කරන්නේ දස්කොන් කතා පුවතයි .එම නිසා ගීතය අවබෝද කරගැනීමට නම් එම  අතීත කතා පුවත දැන සිටිය යුතුය .දෙවන රාජසිංහ රජතුමා රජ කරන සමයේදී ලැනරෝල් නමැති ප්‍රංශ ජාතික සෙන්පතියා උඩරට රාජධානියට පැමිණෙයි .ඔහු රජතුමා හමුවන අතර මේ සාමය තුළ උඩරට හා ලන්දේසින් අතර ගැටුම් කාරී භාවය වර්ධනය වෙමි පැවතිනි .මොහු කාලයත් සමග උටරට තම නිවහන කරගන්නා අතර උඩරට තානාපති තනතුරකුත් හිමි වෙයි .පසු කාලීනව සිදුවූ සිදුවීමක් නිසා රජතුමා විසින් මොහුව සිරගත කරන අතර පසුව නිදහස් කර මුහන්දිරම් තනතුරක් පිරිනමනු ලබයි .මොහු පෘතුගීසි ජාතික කාන්තාවක් හා විවාහ වන අතර මොවුන් දෙදෙනාට ලැබුන දරුවන්ගෙන් එක් අයෙක් නම් ෆෙද්රු ගැස්කොන් වෙයි .රජුට සෙංකඩගල ,හගුරන්කෙත ,කුණ්ඩසාලේ යන ස්ථාන තුනෙහිම මාලිගා තිබී ඇති අතර මෙම පවුල ජිවත් වුයේ රජුගේ හගුරන්කෙත මාලිගාව අසලය .මේ නිසා දස්කොන්ගේ සමවයසේ සිටි නරේන්ද්‍රසිංහ කුමරු සමග සමීපව ඇසුරු කිරීමට දස්කොන්ට හැකි විය .



සුරියගොඩ හාමුදුරුවන් ඇසුරු කරමින් සිංහල භාෂාව ප්‍රගුණ කිරීමට දස්කොන් සමත් වූ අතර ජුසේවාස් පියතුමාගෙන් පෘතුගීසි භාෂාව සහ කතෝලික දහම ප්‍රගුණ කළේය .දෙවන රාජසිංහ රජතුමා 1634 සිට 1686 දක්වා රට පාලනය කරන අතර එතුමාගෙන් පසු රාජත්වයට පත් වුයේ දෙවන විමලධර්ම සුරිය රජතුමාය .එතුමාගෙන් පසු රජ වුයේ ඔහුගේ පුත් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ ය .ඒ 1707 දිය .මෙතුමා සිංහලේ අවසන් රජතුමා ලෙසද සැලකේ .නරේන්ද්‍රසිංහ රජතුමා කලහකාරී පුද්ගලයෙක් මෙන්ම කෙළිලොල් කෘෘර ,සුරාවට හා ස්ත්‍රීන්ට ලොල්වූ පුද්ගලයෙක් නිසාම සෙල්ලම නිරිදු ලෙස හදුන්වා ඇත .පිය රජතුමා විසින් රජුගේ බිසව ලෙස කුමරියක් තෝරා තුබූ අතර 1708 දී එම ඉන්දියානු කුමරිය එනම් ප්‍රමිලා දේවිය රජතුමා විවාහ කරගන්නා ලදී . දස්‌කොන් තුළ පැවැති ශෘංගාරාත්මක කවි කීමේ හැකියාව රජ වාසල වැසියන්ගේ සිත් ගත්තේය. එපමණක්‌ නොව ඔහුගේ කඩවසම් බවට බිසෝවරුන්ගේ මන ඇදුනේය. ප්‍රමිලා බිසව ඒ අතර ප්‍රධාන කෙනෙකි.  රජු උඩරට රදලයන් සමඟ සබඳකම් පැවැත්වීමට අකැමැති වූ බවක්‌ පෙනේ. ඔහුගේ ජීවන රටාව නරක්‌ වුණේ විදේශිකයන් ඇසුරට පත්වීම හේතුවෙනි. මෙරට ජාතික හා ආගමික පරිසරය වෙනස්‌වීම කෙරෙහි ද එය බලපෑවේය. ඒ සඳහා කුමන්ත්‍රණ ද දියත් විය. නරේන්ද්‍රසිංහ රජුට ඉන්දියාවෙන් බිසොවක්‌ ගෙනෙන්නට මැදිහත් වූයේ ද රජවාසල ඇසුරේ සිටි විදේශිකයන්ය. උල් සිටවූ වළක දමා රජු මැරවීමට පවා සිංහලයන් පෙළඹුණේ ඔහු විදේශිකයන්ට අවනතවීම ගැන ඇතිවුණ නොසතුට හේතුවෙනි.පසු කාලයක රජතුමා තම රාජධානියේ අධිකාරම් ධුරය දස්කොන්ට ලබාදෙයි.


මොණරවිල පරපුරට අයත් කුලකතක්‌ ද රජ මෙහෙසියක ලෙස සිටි බව වාර්තා වන අතර ඉන්දියාවෙන් මෙහෙසියන් ගෙන ඒමෙන් පසු ඇය රන්දෝලාව වෙනුවට යකඩ දෝලාවෙන් ගමන් යන පහළ මට්‌ටමකට පත්කර ඇත. රජුට දාව සාමාන්‍ය කුලයක කාන්තාවකගෙන් උපන් කුමරකු සිටි බව ද වාර්තා වෙයි. උනනම්බුවේ බණ්‌ඩාර යනු එම කුමරායි. කුල ප්‍රශ්නය නිසා ඔහුට රාජ්‍යය අහිමි විය. මාරවිල දිසාවගේ දියණියක ද රජ බිසවක ලෙස සිටි අතර ඇයගේ පුත් කුමරුට පිළිමතලාවේ දිසාව නමින් තනතුරක්‌ ලැබුණු බව  දැක්‌වෙයි.



දස්කොන් විදේශිකයෙකු වීමත් අධිකාරම් ධුරයට පත් වීමත් නිසා සිංහල රදළ ප්‍රධානීන්ගේ දැඩි  අකමැත්ත දස්කොන් වෙත එල්ල විය .විශේෂයෙන්ම ජුසේවාස් පියතුමා සහ ගොන්සවෙල්ස් පියතුමාට උඩරට පහසුකම් සැලසීමට අවස්ථව උදාකර දුන්නේ දස්කොන්ය .බුදු දහමට එරෙහිව පොත් රචනා කල ගොන්සලිස් පියතුමාගේ පොත්වල හරි වැරදි බැලීම සිදුකරන ලද්දේ දස්කොන් විසින්ය .එමෙන්ම සරණංකර හිමියන්ට වසදීමට උත්සහ කිරීම ,සුරියගොඩ හිමියන් ඝාතනය කිරීම යන චෝදනා දස්කොන්ට එල්ල විය .එහෙත් රජු සහ දස්කොන් අතර පැවති සබදතාවය පළුදු වුයේ වෙනත් හේතුවක් නිසාය .ඒ දස්කොන් සහ ප්‍රමිලා අතර පැවති අසම්මත ප්‍රේමය හෙළිවීම නිසාය .


එම ප්‍රේම කතාව හෙළිවන්නේ ප්‍රමිලා බිසවට වැළදුන රෝගයක් සුව කිරීම සදහා කල බලි ශාන්ති කර්මයක් නිසාය .මෙම බලි ශාන්ති කර්මය සදහා බිසවගේ රුවට සමාන බලියක් සැදීම සිදු කල යුතු විය .එම බලියේ අඩුපාඩු දස්කොන් විසින් සොයා බලා බිසවගේ රහස් ප්‍රදේශයේ උපන් ලපයක් ඇතිබව දන්වා සිටියේය .රජතුමා මෙය දැනගැනීමෙන් පසු දස්කොන්ට මරණ දණ්ඩනය නියම කරන ලදී .


මෙම ඉතිහාස කතාව පදනම් කරගෙන රත්නත් ශ්‍රී විජේසිංහ විසින් මෙම ගීතය රචනා කර ඇත .මෙම ගීතයේ ආරම්භයේදී පවසන්නේ සක්මන් කරන මළුව පිලිබදවයි .සක්මන් කරන මළුව යනු රජ මාලිගයේ රජංගනයෙහි ඇති උද්‍යානයයි .දස්කොන් සහ ප්‍රමිලා අතර ආදර සම්බන්දතාවය ඇතිවන්නේ සක්මන් කරන මළුවේදී ය .කවියා ප්‍රකාශ කරන්නේ අද සක්මන් කරන මළුව පාළු බවයි .එලෙස සක්මන් කරන මළුව පාළු විමට නම් මෙම දෙදෙනා සැම දිනයක වගේම සක්මන් කරන මළුවේදී හමුවිය යුතුය .ඒ සදහා වන වට පිටව ඒ වන විට සැකසී තිබුණි .එනම් දස්කොන් කුඩාකාලයේ සිට ජිවත් වුයේ හගුරන්කෙත මාලිගාව අවටය .රජතුමා සෙංකඩගල මාලිගාවේ ජිවත් වුවද ප්‍රමිලා ජිවත් වුයේ හගුරන්කෙත මාලිගාවේය.මේ නිසා මොවුන් දෙදෙනාට සක්මන් කරන මළුවේදී පහසුවෙන් හමුවීමට අවස්ථාව උදාවිය . මෙලෙස මෙම දෙදෙනා සක්මන් මළුවේදී නිතර හමු වීම ප්‍රේමයක් බවට පත් වුවා විය හැකිය .දස්කොන් භාෂා කිහිපයක්ම හොදින් දන්නා පුද්ගලයෙකි .එසේම කවි කරණයට දක්ෂයෙකි .දස්කොන් විසින් ප්‍රමිලා බිසවට කවි ලියා ඇති අතර ඒවාට ප්‍රමිලා බිසවද උත්තර සපයා ඇත .ඒ තුලින් ගම්‍ය වන්නේ බිසව තුලත් කවි ලිවීමේ හැකියාවක් පවතී බවයි .එලෙස මෙම දෙදෙනා විසින් ලියන ලද කවි කිහිපයක් පහත දක්වා ඇත .


යන්නෝ මෙමග රැ දහවල තොර වෙත්ද ?
බොන්නෝ මේ ගග දිය බොර කරලා යත්ද ?
දෙන්නේ පහස හෙට අඩගහලා දෙත්ද ?
දන්නෝ උපා මිනි බැදී දොර නාරිත්ද?

ප්‍රමිලා විසින් දස්කොන්ට ප්‍රේමයේ වේලීමට ආරාධනා කරයි .එය බිසව විසින් ප්‍රකාශ කරන්නේ කවියෙන්ය .එම කවියට දස්කොන් මෙලෙස පිළිතුරු ලබාදෙයි .

අකුරු කලේ කුමටද නුවන මද ගුරු
හකුරු කැලේ දමති ද දියවී යන තුරු
කපුරු මලේ සුවද ට වැනසෙති බඹරැ
කපුරු මලේ දැක දැක නොකරත් වියරු

හකුරු කැලයේ දියවී යන්න දමා තිබෙන බව මම දනිමි , බඹරැ කපුරු මලට හසු වී විනාශ වී ගියද මට ඔබව අතහැර දමා යාමට නොහැකි බව දස්කොන් ඇයට ප්‍රකාශ කරයි .මේ තුලින් දැකගැනීමට හැක්කේ මෙම දෙදෙනා අතර තිබු ආදරයයි .මෙලෙස සක්මන් මළුවේ පෙම් කෙලිම රහසක් ලෙස තබා ගැනීමට මොවුන් දෙදෙනාට නොහැකි විය .එය මාලිගයම දන්නා රහසක් බවට පත් විය.මෙවැනි කවි බොහොමයක් මෙම දෙදෙනා හුවමාරු කරගෙන ඇත .

රන්මාලය පැළඳගෙන ගත                     සුවිපුල්ලා
ඉන් ආලය වඩයි මගෙ සිත                    නුඹ පල්ලා
පන්දහසකට මැද තිබුණත්                     උඩ එල්ලා
රන් භාජනය නොවිඳිද විදිනා                      ගුල්ලා

ඉහත දැක්වෙන්නේ අධිකාරම් විසින් ප්‍රමිලා බිසව වෙත එවන ලද තවත්  කවියකි .මෙයින් කියවෙන්නේ කොතරම් කරදර බාදක පැවතියත් දස්කොන් ප්‍රමිලා හිමිකර ගන්නා බවයි .



රත්නත් ශ්‍රී ගීතයේ මීලග කොටස නිර්මාණය කිරීමේදී භාෂාවේ අපුරත්වය මනා ලෙස යොදා ගෙන ඇත .සෙංකඩගල වටකළ පවුරු වළල්ලේ යන ගී පද කොටසින් නරේන්ද්‍රසිංහ රජුගේ බල පරාක්‍රමය විදහා දක්වා ඇත.එනම් සෙංකඩගල වටකළ පවුරු වලල්ලනම් උඩරට රාජධානියයි .මෙම රාජධානිය තුළ ඇත්තේ රජුගේ අනසකයි .රජුගේ බලයි .ඒ බලයට මිනිසුන් පමණක් නොවේ සතා සිවුපාවුන් පවා යටත් බව රචකයා දක්වන්නේ පෙම් ගී ගායනා කරනා විහගුන් උපමාවට අරගෙනය .රජුගේ බලය පිලිබදව කිසුවෙකුටවත් ප්‍රශ්ණ කිරීමට නොහැකිය .පෙම් ගී ගායනා කරන ලද විහගුන් හැපී වැටුනේ සෙංකඩගල පවුර වලල්ළේය .දස්කොන් ප්‍රමිලට පවසන්නේ ඔවුන් දෙදෙනාටද අවසානයේ සිදුවන්නේ මෙවැනි විපතක් බවයි .රන්තරු දෑස පියන රැ හද පනේ යනුවෙන් රචකයා ප්‍රකාශ කරන්නේ තරු නිදන රාත්‍රියේ පවා මෙම දෙදෙනා හමුවන බවයි .දස්කොන් සහ ප්‍රමිලා මෙලෙස හමුවනේ රාජකීය අණසක ඇති ප්‍රදේශයේය .එය කොතරම් භයානකද?එහෙත් ඔවුන්ගේ ආදරයට බාදා කිරීමට කිසිවකුට නොහෙකි බව එයින් හගවයි .


මෙම ගීතයේ ප්‍රමිලා අත්තන මලකට උපමා කරයි .අවශ්‍ය නම් ගීත රචකයට ප්‍රමිලා වැනි සුන්දරත්වයෙන් පිරිපුන් කාන්තාවක් රෝස මලකට ,පිච්ච මලකට උපමා කිරීමට තිබුණි .එහෙත් එයින් ගීතයේ බලාපොරොත්තු වන අගය,අර්ථය සමාජයට ලබා දීමට නොහැකි වෙයි .අත්තන මල සුන්දරය .එසේම ප්‍රමිලාද එලෙස සුන්දර කාන්තාවක් බව ගීත රචකයා දක්වයි .එහෙත් අත්තන මල විෂ සහිතය .ජිවිතයට ගෙන එන්නේ විනාශයයි .ප්‍රමිලාද එසේය .කෙතරම් සුන්දර වුවත් කවදාක හෝ ඇය තමාට ආවාසනාව ගෙන එන බව දස්කොන් නොදන්නවා නොවේ .එහෙත් අත්තන මලක් බදු ප්‍රමිලාගේ සුන්දරත්වය විද ගැනීමට දස්කොන්ට අවශ්‍යය .තරු පවා නිදන රාත්‍රියේ මොවුන් හමුවන්නේ ඒ අනතුරු දායක බව දැනගෙනය .එම සිදුවීම් පෙළ රත්නත් ශ්‍රී විජේසිංහ විසින් අපුරු උපමා කිහිපයක් යොදාගෙන ගොඩනගා ඇත .ඒ තුලින් අතීත කතා පුවතට අපුරත්වයක් එකතු කොට ඇත
ප්‍රමිලා බිසව රජතුමාගෙන් ඈත වීමට හේතු වී ඇත්තේ රජුගේ ක්‍රියාකලපයයි.එනම් රජු බිසව නොසලකා හැර ඇත .වෙනත් ස්ත්‍රීන් පිළිබද ඇල්මක් දක්වා ඇත .එවිට ඕනෑම කාන්තාවක් වෙනත් පුරුෂයන් වෙත යාම සාමාන්‍ය සිදුවීමකි .ප්‍රමිලාටද සිදු වුයේ එයය .රජුගේ ආදරය නොලැබෙන විට එම ආදරය සොයා ගියේ දස්කොන්ගේන්ය .රජු අධික සුරාවට පුරුදු වූ පුද්ගලයෙක් විය .එමෙන්ම රජු සහ බිසව ජිවත් වී ඇත්තේ මාලිගා දෙකකය .එහෙත් අගබිසවක් ජිවත් විය යුත්තේ රජු සිටින මාලිගවේය .එම අවස්ථාව ප්‍රමිලට හිමි වුයේ නැත .



අවසන් කවියෙන් ගී පද රචකයා දක්වන්නේ දස්කොන්ගේ ජිවිතයේ අවසානයි රජමාලිගයේ මහා වාසල දොරටු හැර දස්කොන් ගෙන යන්නේ කොතනටද ?මේ වන විට ඒ පිලිබදව දස්කොන් හොදින්ම දනී .ඒ තමන්ගේ ජිවිතයේ අවසන් ගමනයි .අවසන් ගමනේ යාමට සිරගෙදර සිටිමින්ද දස්කොන් ප්‍රේම කලේ ප්‍රමිලටය .ප්‍රමිලා බිසව දස්කොන් සිරගෙයි සිටින විට ඔහු වෙත ලියන ලද කවියක් පහත දැක්වෙයි .

සක්‌මන් කරන මළුවේදී                           බැඳි හාද
සිත් සන්තොසින් දුන් මුව                         මී බීවාද
ඉක්‌මන් ගමන් අහො අද ඔබ                     යනවාද
දස්‌කොන් මගෙ නමට ජීවිතෙ                  දෙනවාද

තවත් විටක මෙම ගීතයේ අවසාන භාගය මෙලෙස විග්‍රහ කල හැකිය.වාසල මිනි බැදී දොර හරින වෙලාවේ යනුවෙන් කවියා ප්‍රකාශ කරන්නේ දස්කොන් මාලිගාවේ සේවයට පැමිණීම සහ බිසව සමග සම්බන්දතාවයක් ඇරඹීමයි  .මෙලෙස ප්‍රමිලා සමග සම්බන්දතාවයක් දස්කොන් අරඹන විට කිසිවිටකත් මෙවැනි අවසානයක් බලාපොරොත්තු නොවන්නට ඇත .දෑසින් වැටෙන කදුළු මට සිහි නොවුනේ යනුවෙන් ප්‍රකාශ කරන්නේ මෙයයි .එම ආදරය ඉක්මනින්ම අවසාන විය .එහෙත් මතු සංසාරේ මෙම දෙදෙනාට යලි හමු වීමේ බාලපොරෝත්තුව ඇත .ඇය සමග මතු සංසාරේ යලි එකට දිවි ගෙවන්නට ප්‍රමිලා දස්කොන්ට ආරාධනා කරයි .




Thursday, July 26, 2018


        දුම්වැටිය නිසා  අදුරෙන් අදුරටම යන අපේ සමාජය ....



                              

                      වර්තමාන ශ්‍රී ලංකික ජන සමාජය දෙස බලන විට පෙනීයන ප්‍රධාන කරුණක් බවට පත්ව ඇත්තේ දිනෙන් දිනම ලාංකීය සංස්කෘතිය ,සමාජය ,සදාචාරය පිරිහෙමින් පවතින බවයි .ලාංකීය සමාජය සැබෑ සංවර්ධනයක් කරා ගෙන යාමට නම් අනිවාර්යෙන්ම සමාජයේ පුළුල් වූ වෙනසක් අත්‍යවශ්‍ය  බව නුතනයේ පෙනීයන කරුණකි .වර්තමාන සමාජය පිරිහීම සදහා ප්‍රධානම හේතු බවට පත්ව ඇත්තේ දුම් පානය ,මත්පැන් භාවිතය ,මත්ද්‍රව්‍ය භාවිතය ,සුදු ව්‍යාපාරය යන කරුණුය .මෙම කරුණු සමාජයේ දිනෙන් දින දියුණුවට පත්වන් පරිසරයක රටක සැබෑ දියුණුවක් ඇතිවෙතැයි සිතීමට නොහැකිය .එයට හේතුව වන්නේ මත්පැන් ,මත්ද්‍රව්‍ය අදවන විට සමාජය වේලාගත් පිළිලයක් බවට පත්ව ඇති බැවින්ය .


                            වර්තමාන සමාජය සැබෑ ලෙසින්ම සංවර්ධිත සමාජයක්  බවට පත් කිරීමට නම් මත්පැන් ,මත්ද්‍රව්‍ය දුම්වැටි  වලට එරෙහිව සමාජ කතිකාවක් වැඩිව ආරම්භ කල යුතු කාලය එලඹි ඇත .අදවන විට රටේ විවිධ සමාජ අපරාධ වර්ධනය වීමට ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇත්තේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය වේ .එපමණක් නොව මේවා භාවිතය නිසා රෝගී වන දහස් ගණන් මිනිසුන්ට ප්‍රතිකාර කිරීම සදහා වැයකිරීමට සිදුව ඇත්තේ අසරණ මිනිසුන්ගේම බදු මුදල්ය .


                         මෙම තත්වය පාලනය කිරීම සදහා රජය විසින් විවිධ වූ ක්‍රියාමාර්ග ගන්නා ආකාරය දැකගැනීමට හැකිය .එහිදී සමාජය දැනුවත් කිරීමට විවිධ වූ වැඩසටහන් රජය මගින් ක්‍රියාත්මක කරන ආකාරයද දැකගැනීමට හැකිය .මේ සදහා මුල් විය යුත්තේ රජය පමණක් නොවේ .සමාජයේ වගකිව යුතු සියලු දෙනා දුම්වැටි,  මත්පැන් ,මත්ද්‍රව්‍ය සදහා එරෙහිව නැගී සිටිය යුතුය . නමුත් සමාජයෙන් පිළිලයක් වී ඇති මත්පැන් මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ප්‍රධාන වගකීම පැවරෙන්නේ රටක ආණ්ඩුවටයි .එහිදී රජය මගින් මිට එරෙහිව දැඩිව නිතිය ක්‍රියාත්මක කලයුතුය .එමෙන්ම පවතින නීති ප්‍රමාණාත්මක නොවන්නේ නම් අලුතින් නීති සකස් කිරීමද පාලකයන්ගේ වගකීම බවට පත් වෙයි .




                                   අද වන විට ලංකාව තුල මත්පැන් ,මත්ද්‍රව්‍ය භාවිතය බොහෝ සෙයින් ඉහල ගොස් ඇති අතර එයට හේතුව බවට පත්ව ඇත්තේ රටේ පවතින නීතිය ප්‍රමාණාත්මක නොවීමයි .දුම් වැටි භාවිතය පාලනය කිරීම සදහා පසුගිය කාලය තුල දුම් වැටි අසුරන වල 60% ක රූපමය අවවාද ඇතුලත් කිරීමට නීති සම්පාදනය කරන ලදී .මේ තුලින් බලාපොරොත්තු වුයේ රටේ දුම් වැටි භාවිතා කරන පිරිස ෛධර්යමත් කිරීමයි .මෙම නීතිය බැලු බැල්මට සමාජයට යහපත් එකක් බවට පෙනී ගියද එයින් සමාජයට වන යහපතක් නැත .මෙම නීතිය විහිළු උපදවන නීතියකි .ඇසුරුමක රුප ප්‍රදර්ශනය කල නිසා වෙන් දුම් වැටි භාවිතය අතහරින ජනතාවක් ලෝකයේ කොතනකවත් සිටීමට නොහැක .දුම් වැටිය භාවිතා කරන පුද්ගලයා ඇසුරුම දෙස බල බල සිටින්නේ නැත .ඔහු තම කාර්ය ඉටුකර ගනී .එම රූපමය අවවාද ඇතුලත් ඇසුරුම දෙස නිතරම නෙත් අයා සිටින්නේ වෙළදසැලේ මුදලාලිය .ඒ එම ඇසුරුමේ ඇති දුම් වැටි ප්‍රමාණය අවසන් වන්නේ කුමන වේලාවේද යන පිළිබදවය .අනෙක් අතට දුම් වැටි භාවිතා කරන පුද්ගලයන් ඇසුරුමක් පිටින් දුම් වැටි මිලදී ගන්නේ කලාතුරකින්ය .ඒ වෙනුවට ඔවුන් සිදු කරන්නේ තනි තනි දුම් වැටි මිලදී ගැනීමයි .ඇසුරුමේ කුමක් ඇතුලත් වුවත් එය පාරිභෝගිකයාට අදාල වන්නේ නැත .දුම් වැටි භාවිතා කරන පුද්ගලයන් ඇසුරුමේ කුමක් ඇතුලත් වුවත් එය භාවිතා කරනු ලබයි. එම නිසා තව දුරටත් ඇසුරුම් නීතිය පිලිබදව දේශපාලන වේදිකා මත සටන් කිරීමෙන් ඇතිවන ප්‍රතිපලයක් නැත .එම නීතිය කසල බදුනටම විසිකර දමා ඒ වෙනුවට අලුත් කාලෝචිත නීති සකස් කල යුතුය .



                                  මෙහිදී මුලින්ම සොයා බැලිය යුත්තේ ලාංකීය සමාජය තුල දිනෙන් දින දුම් වැටි භාවිතය ඉහල යන්නේ කුමන හේතුවක් නිසා වෙනද යන්න පිලිබදවයි .මේ සදහා ප්‍රධාන හේතුවක් බවට පත් වී ඇත්තේ දුම් වැටි මිලදී ගැනීමට පහසුවෙන් අවස්ථාව හිමිවී තිබිමයි .නගරයේ වේවා ගමේ වේවා අදවන විට ඕනෑම මහ පරිමාණ වෙළද සැලේ සිට කුඩා වෙළද සැල දක්වාම මෙකි දුම් වැටි විකිණීමට ඇත .මේ නිසාදුම් වැටි  අවශ්‍ය වන්නේ කුමන වේලාවේදීද එම වේලාවේදීම දුම් වැටි ලබාගැනීමට අවස්ථාව හිමිවී ඇත .හදිස්සි ලෙඩකට පැනඩෝල් පෙත්තක් මිලදී ගැනීමට නොමැති වෙළද සැල් වල රාත්‍රියට  දුම්වැටි ඇත .එලෙස වී තිබෙන්නේ අද රටේ තරුණ පරපුර මේ සදහා බොහෝ ලෙස පුරුදුව තිබීම සහ  වෙළෙන්දන්ට ලාභ ලබාදෙන ව්‍යාපාරයක් බවට මෙය පත්ව තිබීමයි .



                          රටේ දුම් වැටි පාලනය කිරීම සදහා පාලකයන්ට සැබෑම උවමනාවක් තිබේනම් කලයුත්තේ ඒ වෙනුවෙන් සැබෑවටම නීති සම්පාදනය කිරීමයි .අද ලෝකය තුල ඕනෑම දෙයක් අලෙවි කිරීම සදහා බලපත්‍රයක් අවශ්‍ය වෙයි .එහෙත් බලපත්‍රයක් නොමැතිව විකිනීමට ඇති වෙළද භාණ්ඩයක් බවට දුම්වැටි පත්ව ඇත .මේ නිසා දුම් වැටි විකිණීම සදහා බලපත්‍රයක් නිකුත් කිරීම මගින් දුම්වැටි අලෙවිය විශාල ප්‍රමාණයකින් පහත දැමීමට හැකියාව ලැබේ .එනම් සැම වර්ෂයකම දුම් වැටි  ලොකු කුඩා වෙළද සැල් වල අලෙවි කිරීම සදහා බලපත්‍රයක් ලබාගැනීම ම අනිවාර්ය කළහොත් වෙළදසැල් හිමියන් දුම්වැටි තම වෙළද සැල තුල විකිණීම පිලිබදව දෙවතාවක් සිතා බලනු ලැබේ .එනම් සැම වර්ෂයකම වෙළද සැල් හිමියා විසින් බලපත්‍ර  ගාස්තුවවක් ගෙවා තම බලපත්‍රය දුම් වැටි අලෙවිකිරීම සදහා ලබා ගත යුතුය .බලපත්‍ර ගාස්තුව ඇගට දැනෙන එකක්  විය යුතුය .එසේවන විට වෙළද සැල් හිමියන් දුම් වැටි විකිණීම පිලිබදව සිතා බලනු ලබයි .එනම් තම ලාබය පිලිබදව සිතා බලනු ලබයි .එපමණක් නොවෙයි දුම් වැටි තනි තනිව විකුනනවා වෙනුවට ඇසුරුම පිටින්ම විකිණීම අනිවාර්ය කල යුතුය .එලෙස ඇසුරුමක් මිලදී ගැනීමට ඉදිරිපත්වන්නේ සීමිත පිරිසකි .එවිට ඔහුන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දුම් වැටි භාවිතය අවම කරනු ලැබේ. එම අවස්ථාවේදී රූපමය අවවාද සහිත ඇසුරුම් අලෙවි කිරීම කාලෝචිතය .එවිට සැබෑ ලෙස රටේ දුම්වැටි මාරයාගෙන් තරුණ පරපුර බේරා ගැනීමට අවස්ථාව උදාවෙයි .එලෙස සිදු වුවහොත් පමණක් ශ්‍රී ලංකාව සැබෑවටම අනාගතයේ සංවර්ධනය කිරීමට හැකියාව ලැබෙනු ඇත .





Monday, July 16, 2018


          උසාවිය නිහඩයි චිත්‍රපට  සදහා පදනම් වූ නීතිමය පසුබිම හා වාරණය ...











                                   පුද්ගලයකුට කතාවේදීත් ලිවීමේදී ප්‍රමාණවත්  නිදහසක් පවත්වා ගෙන යා හැකිය. නමුත් චිත්‍රපට පෙන්වීම සම්බන්ධව ගත් කල පාලනයෙන් තොර එවැනිම නිදහසක් සඳහා ඉඩ දීමක් පුළුවන්ද යන්න පිළිබඳව ප්‍රශ්න මතුවේ. චිත්‍රපට පරීක්ෂණයට භාජනය කළ යුතු ද යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීම පහසු නැත .චිත්‍රපට පරීක්ෂණයට භාජනය කිරීම සම්පූර්ණයෙන්ම ඉවත් කර තැබුවා යැයි උපකල්පනය කළ හැකිය. නමුත් ඒ තුළින් සිදුවන්නේ මිනිස් කුතුහලය මෙන්ම සඟවා ගත් මිනිස්  ආශා  ඇවිස්සීමය.


                                 සිනමා ක්ෂේත්රයේ පවා වරණය සම්බන්ධව ඇත්තේ දුර්මත රාශියකි .සාමාන්‍ය  රසිකයා මේ නිසා වාද විවාද අතර වික්ෂිප්තභාවයට පත් වේ. මෙම නිබන්ධනයේදී වාරණයට පක්ෂ මතවාද මෙන්ම ප්‍රතිපක්ෂ මතවාද , ආකල්ප සඳහන් කිරීමට බලාපොරොත්තු වේ. වාරණය සිනමාව සම්බන්ධයෙන් තදින් බලපාන කරුණක් ලෙස සඳහන් කළ හැකි ය.  නිසා විචක්ෂණශීලිව ගැඹුරින් කල්පනා කොට නිගමනයකට එළඹිය යුතුය.

                                    රජය පනවන වාරණ නීති සමහර අවස්ථාවක ජන සමාජය සඳහා ය යන්න තහවුරු වේ. ගැටලු ඇති වන්නේ ස්වාධීන චින්තනය ට බාධා කරන ආකාරයෙන් වාරණ නීති ක්රියාත්මක කරනු ලබන අවස්ථාවලදීය.

                                   ලංකාවේ චිත්‍රපට මහජන ප්‍රදර්ශනය සඳහා පරික්ෂා කරනු ලබන්නේ public performance board (මහජන රැඟුම් පාලක මණ්ඩලය) මගිනි. මේ ආයතනය censor board යනුවෙන්ද හැදින්වේ. එමගින් පනවන තහනම censor ලෙස සඳහන් කෙරේ .නාට්‍ය,චිත්‍රපට  මෙන්ම ඒ සඳහා භාවිත ප්‍රචාරක මාධ්‍ය  මහජන  ප්‍රදර්ශනයට අහිතකර ද යන්න මේ මණ්ඩලය මගින් පිරික්සනු ලැබේ. ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ද  රැගුම් පාලක ආඥා පනත public performance oridinance 1912 වසරේ මැයි 24 වන දින ආඥා පනතක් ලෙස සම්මත කරනු ලැබුණි. එහි මෙබදු අර්ථ දැක්වීමක්  ඇතුළත්ය.

1)      මහජන ප්‍රදර්ශනය  සඳහා වන සෑම නාටකීය ඉදිරිපත් කිරීමක් ම ,
2)      සෑම රූපයක්ම සිනමාකරණය මගින් දක්වන දර්ශන උපක්‍රම , මැජික් ලන්තෑරුම් දර්ශන හා ඊට සමාන උපකරණ මගින් දක්වන දර්ශන,නර්ථන ඇස් බැන්දුම්, මැජික් දර්ශන, සර්කස් ,බොක්සින් තරඟ, ගීත නැටුම්, ඇතුළත් දර්ශන හා එබඳු සෑම වේදිකා සංදර්ශනයක් ම ආඥා පනතට ඇතුලත් ය. එහෙත් පෞද්ගලික ස්ථානයක මහජනයාට ඇතුළුවීමට අවසර නැති දර්ශන මීට ඇතුළත් නොවේ.


                                   උසාවිය නිහඩයි චිත්රපටය වාරණයට ලක් කරනු ලබන්නේ උසාවිය විසින්ය. මෙමගින් ජනතාවට යම් පණිවිඩයක් ලබා දීමට උත්සහ කරයි .සමාජයේ සාමානය ජනතාවට සිදුවන හිරිහැර හමුවේ ජීවිතය කෙසේ ගෙවා දමන්නේද යන ප්‍රශ්නය  ඔවුන්ට නැතුවම නොවේ .කෙසේ හෝ මෙම චිත්‍රපට තුලින්ද දිගහැරෙන්නේ එවැනි කතාවකි .පසුව වාරණය ඉවත් කිරීම නිසා එය මහජනතාවට දැකගැනීමට හැකියාව ලැබුණි . 


                                     උසාවිය නිහඬයිසිනමා පටයට එරෙහිව තාවකාලික අධිකරණ වාරණයක් ලබා දී තියෙන්නේ එම චිත්‍රපට නිසා තමාටඅගතියක්සිදුවී ඇතැයි පවසමින් කිසියම් පාර්ශ්වයක් විසින් (හිටපු මහේස්ත්රාත් ලෙනින් රත්නායක) ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුවයි. ඒ තීන්දුව කොළඹ දිසා අධිකරණය විසින් ලබාදී තිබෙනවා. ඇතැම් තැන්වල පැවසෙන පරිදි මෙය රජයේ වාරණයක් නෙවෙයි. ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය එය අසීමිත ප්‍රදර්ශනය  සඳහා අවසර ලබා දී තිබෙනවා. අධිකරණයට ලැබුණු පෙත්සමක කරුණු විභාග කරන තෙක්, අධිකරණයක් විසින් ගන්නා සාමාන්‍ය පියවරක් තමයි මෙම වාරණය සිදු කර ඇත . "උසාවිය නිහඬයි" චිත්‍රපට පොදුජන ඇසුර ලැබීම මෙලෙස අත්අහිටුවනු නොහැක. එම පරමාධිකාරී බලය ඇත්තේ ජනතාවටයි. එබැවින් සැබැවින්ම අත්හිටුවිය යුත්තේ මෙම චිත්‍රපටයෙන්  හා ඊට වස්තු විෂය වූ පුවත්පත් ලිපි සමූහයෙන් එළිදරව් වන අයුක්තිසහගත අවභාවිතයයි. මෙම චිත්‍රපටය  නිදහස්කරගැනීමේ සටන තරමටම මෙකී සමාජ දේශපාලන අරගලය තුළ නිරූපිත නීතියේ අවභාවිතය නිවැරදිකර ගැනීමේ සටනද ජය ගත යුතුය. ගවේශනාත්මක ආකාරයෙන් හෙළිදරව් කරන ලද මෙම සිද්ධිය නීතිය ක්‍රියාත්මක  වන තෙක් විවිධ තලවල අරගල මැද අවසානය කරා රැගෙන ගියේය. එවැනි ක්‍රියාදාමයන්  තර්කානූකූල අවසානයක් කරා රැගෙන යාම පහසු නැත. මෙය   අවදානම් සහිත කාර්යයක් විය . ඒ සඳහා ගත වූ කාල පරාසය ද දීර්ඝ විය.



                                                              
ලෙනින් රත්නායක වැනි ශේෂ්ඨාධිකරණය ඉදිරියේ චෝදනාලාභී පුද්ගලයෙකු විනිසුරු ධූරයේ කටයුතු කිරීමේ දී ශේෂ්ඨාධිකරණය නිහඬව බලා සිට ඇත. එය නිවැරදි කිරීමට උත්සාහ නොකිරීම කණගාටුවට කරුණකි. එම පත්වීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ඉදිරිපත් වූ පසුත්  ශේෂ්ඨාධිකරණයත්, විධායකයත් එම අත්තනෝමතික ක්‍රියාමාර්ගය ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කර තිබේ. මෙහිදී දිවුරුම් ප්‍රකාශයක්  මගින් චෝදනා කර සිටින්නේ ගම්පොල  තානායමේදී   ලෙනින් රත්නායක මහේස්ත්රාත්වරයාගෙන් එකම දින සිව්වරක් දූෂණය වූ පොල්පිතිගම චන්ද්‍රලේඛා  නැමැති තැනැත්තියයි . ඇයට  වයස අවුරුදු 27ක මවකි . ඇගේ තිස් පස් හැවිරිදි සැමියා සොර බඩු ළඟ තබාගැනීමක් සම්බන්ධයෙන් නිකවැරටිය රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.  අවසානයේදී තම සැමියා නිදහස් කර ගැනීමට මහේස්ත්රාත් වරයාගේ නියෝග වලට යටත් වීමට ඇයට සිදු විය.



                                         
                                               විනිශ්චයකාරවරයකු අයුතු ක්‍රියාවක් කර තිබුණ අවස්ථාවක එය සැලකිල්ලට ගෙන ඒ ගැන ක්‍රියාකල යුත්තේ අධිකරණ සේවා කොමිසම විසින් ය. චෝදනා අසත්‍ය යැයි තීරණය වී මහේස්ත්රාත්වරයා නිදහස් කර ඇත. පරීක්ෂණයක් පැවැත්වූයේ මෙම සිද්ධිය ප්‍රසිද්ධ වීමෙන් පසුව ඔහුට ඇති විය හැකි අවාසි සහගත තත්වය වැලැක්වීම සහාය.
                             
                     මාධ්යකරුවා වසර ගණනාවක්තම පුවත්පත හරහා මෙම අපරාධය සාක්ෂි සහිතව දීර්ඝ වශයෙන් හෙළි කරද්දීත්, ඉන් නොනැවතී "නොනිමි අරගලය" නමින් පොතක්ප්‍රසිද්ධ කරද්දීත් ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් ඒ කිසිවකුට තහනම් නියෝග තහංචි පනවන්නට ක්‍රියා  නොකරයි.නමුත් එම සිදුවීම ම ප්‍රස්තුත  කොටගත් වාර්තා චිත්‍රපටයකට  තහනම් නියෝග පැනවෙන්නේ එය මහජන ප්‍රදර්ශනයට පැමිණෙන්නටත් පෙරය. නීතියේ පදනම වන්නේ මානවීය හරපද්ධතිය ආරක්ෂා කිරීමය. නීතිය බිහිවීමේ පදනම ඇත්තේ ද මේ තුළය. වඩා සරලව කියන්නේ නම් කුමණ තත්වයක් යටතේ වුව මනුෂ්යත්වයට එරෙහිව කටයුතු කිරීමට මනුෂ්‍යා පෙළඹෙන්නේ හෝ පොළඹවන්නේ නම් හෝ ඊට එරෙහිව කිසියම් ක්‍රියාමාර්ගයක්  ගැනීම සාමාන්‍ය මනුෂ්‍ය  සිරිතය. ඊට දඩුවම් ද නියම වේ. මේ දඩුවම වඩා නිවැරදිව ක්‍රියාත්මක  කිරීම සඳහා අධිකරණය නමැති ආයතනය ශිෂ්ට සමාජය විසින් ස්ථාපිත කරගෙන ඇත්තේ මේ නිසාය .එහෙත් මෙම සිද්ධිය අධ්‍යනය  කරන විට පෙනී යන්නේ එකී අධිකරණය මෙකි කාන්තාවගේ අනාගතය විනාශවීමට හේතු වුවා බව නොවේද ?








                                                  (ප්‍රසන්න විතානගේ )