Search This Blog

ලිපි


රූපවාහිනියෙන් මැවෙන  ජනප්‍රිය ටෙලි රැල්ල.....






                          ශ්‍රී ලංකාවට රූපවාහිනිය හඳුන්වා දීමේ ප්‍රධාන අරමුණ බවට පත්වූයේ අධ්‍යාපනික වශයෙන් ලාංකීය ළමා  පරපුර ශක්තිමත් කිරීමයි. මුල් කාලීනව එම කාර්යය නිසි ලෙස ඉටු වුවද ලංකාවට පෞද්ගලික රූපවාහිනී නාලිකා හඳුන්වාදීමෙන් පසු ගුණාත්මක වැඩසටහන් වෙනුවට ජනප්‍රියත්වය මූලික කරගත්තා වූ වැඩසටහන් බිහිවිය. වෙද හාමිනේ, සූරිය දරුවෝ වැනි ටෙලි නාට්‍ය විකාශනය වුවද පෞද්ගලික නාලිකා වල ආගමනයත් සමගින් ජනප්‍රිය රැල්ලේ ටෙලිනාට්‍ය එක පොකුරට නිර්මාණය වීම දැන් සිදුවන ආකාරය දැක ගැනීමට හැකිය .ජනප්‍රිය සංස්කෘතිය  හා වෙළෙඳ සංස්කෘතිය විසින් ජන මනස ක්‍රමයෙන්  හරසුන් ටෙලි නාට්‍ය කලාවක් කරා යොමු කර අවසන්ය. ඒ අතර දැකිය හැකි කණගාටුදායක තත්ත්වය වන්නේ සිංහලට හඬ කවන ලද විදේශීය ටෙලි නාට්‍ය පුංචි තිරය ආක්‍රමණය කර ඇති ආකාරයයි. මෙලෙස එක දිගට ලාංකීය රූපවාහිනිය තුළ විදේශීය ටෙලි නාට්‍ය විකාශනය වන්නට ප්‍රධාන හේතුව වන්නේ ලංකාව තුළ ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කොට විකාශනය කරනවාට වඩා ඉතා අඩු මුදලකට විදේශීය ටෙලි නාට්‍ය හඬ කවා විකාශනය කොට ඉහළ ලාභයක් ලබා ගැනීමට හැකිවීම නිසාය. අද වන විට සෑම රාජ්‍ය හා පෞද්ගලික නාලිකාවක ම රාත්‍රී කාලය මෙම ටෙලිනාට්‍ය විසින් බදු අරගෙන ඇති ආකාරය දැක ගැනීමට හැකිය.


                            මෙලෙස විකාශනය වන මෙම ටෙලි නාට්‍ය ක්‍රමයෙන් ලාංකීය ජන මනස ද විකෘති කිරීමට සමත්ව ඇත. ජනප්‍රිය සංස්කෘතිය මත නිර්මාණය වන වෙළඳ සංස්කෘතිය මේ සඳහා හේතු වී ඇත. එනම් අද වන විට මෙලෙස විකාශනය වන ටෙලි නාට්‍යවල ජනප්‍රිය චරිත ලාංකීය වෙළෙඳ පොළ තුළ ඉතා පහසුවෙන් වෙළඳුන් විසින් මාකට් කරන ආකාරය නිතර දැක ගැනීමට හැකි දසුනකි. එම චරිත විසින් භාවිතා කරන උපකරණ ඔවුන්ගේ පින්තූර අඩංගු ඇඳුම් කැලැන්ඩර් ,කාඩ්  සඳහා වෙළෙඳපොළ තුළ ඉතා ඉහළ ඉල්ලූමක් ඇත .මෙලෙස  ලාංකීය ප්‍රේක්ෂකයාගේ ජන මනස බොළඳ රස වින්දනයට හුරු වී අවසන්ය .දැන් එම ප්‍රේක්ෂකයන්ගේ කැමැත්ත වන්නේ හුදු මනස පිනවන සුරංගනා ලෝකවල වැනි චිත්තාකර්ශනිය   ටෙලිනාට්‍ය කලාවක්  ය.


                                    අද වන විට ලංකාව තුළ ද නිෂ්පාදනය වන ටෙලිනාට්‍ය තුළ ද දැක ගැනීමට හැකි වන්නේ ඉන්දියානු අනුකරණවාදී ටෙලි නාට්‍ය කලාවකි. පවුල තුළ ඇතිවන ප්‍රශ්නයක් ආදරවන්තයකු ආදරවන්තියක් හා ඔවුන්ට එරෙහි වන පවුල ,මිත්‍යා විශ්වාස වැනි සාමාන්‍ය කරුණු පසුපස ලාංකීය ටෙලි නාට්ය කලාව ද හඹා යන ආකාරය දැක ගැනීමට හැකිය. එපමණක් නොව ගෙදරට සාරි ඇඳගෙන සිටින අලංකාර වාහනවල ගමන් කරන මාලිගා වැනි නිවාසවල ජීවත්වන පවුල් පිළිබදව ලාංකීය ටෙලි නාට්‍ය කරුවා ද තම නිර්මාණ තුළින් පෙන්වන්නේ ජන මනස එයට ප්‍රිය කිරීමට හුරුවී අවසන් නිසාය. සැබෑ ගැමි ජීවිතය, තාරුණ්‍ය, ආර්ථික අර්බුදය, සමාජ ගැටලු වැනි ප්‍රස්තුත ඔස්සේ නිර්මාණය වන ගුණාත්මක වශයෙන්  යුතු ටෙලි නාට්‍ය සඳහා රූපවාහිනි නාලිකාවල ඇත්තේ අඩු ඉඩකි. එවැනි ටෙලි නාට්‍ය සඳහා වෙන් වන්නේ රූපවාහිනියේ නොවැදගත් වේලාවකි.මෙයට  තවත් හේතුවක් වී ඇත්තේ රේටින්ග්ස් මගින් ටෙලි  නාට්‍ය සඳහා ලැබිය යුතු නිවැරදි වටිනාකම් හිමි නොවීමයි.එම වාර්තා  මත පදනම්ව අනුග්‍රාහකත්වය ලබාදෙන වෙළඳ ආයතන තම අනුග්‍රාහකත්වය සෑම විටම සපයන්නේ ඉහළ ප්‍රේක්ෂක අවධානය දිනාගත් වැඩසටහන් හෝ ටෙලි නාට්‍ය වලට පමණක්ය. ප්‍රමිතියෙන් යුතු ටෙලිනාට්‍ය ලංකාව තුල බිහි නොවීමට මෙය ප්‍රභල හේතුවක් බවට පත්ව ඇත .

                               
                                     මෙලෙස  කුරුවල් වී ඇති ලාංකේය ප්‍රේක්ෂකයා ගේ මනස යළිත් ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට නම් කළ යුත්තේ ලාභය නොතකා ගුණාත්මක හා ප්‍රමිතියෙන් යුතු ටෙලි නාට්‍ය කලාවක්  ඇතිකිරීම සදහා වැයම් කිරීමයි . එය දවසකින් දෙකකින් කිරීමට නොහැකි වීමට හැකිය.ජනතාව වෙනුවෙන්ම කැපවූ නාලිකා යැයි විවිධ ආකර්ශනීය වදන් ඔස්සේ තම නාලිකාව හදුන්වා දෙමින්   රංගනයක නිරත වන බොහෝ ජනමාධ්‍ය හිමිකරුවන්ට මෙය කිරීමට අපහසු බව ඒකාන්ත ය. ඒ එවැනි බොළඳ ටෙලිනාට්‍ය ඔස්සේ මැවෙන ආකර්ෂණීය සංස්කෘතිය පෝෂණය කරමින් ගෙන යාම ඔවුන්ගේ ලාභය උපරිම කිරීමට හේතුවන නිසාය .ලාංකේය කලාකරුවන්ගේ හා ප්‍රේක්ෂකයන්ගේ සැබෑ කලාව හා ජන පැතුම අවදි වන්නේ විදේශීය අනුකරනය මත නිර්මාණය වන ටෙලි නාට්‍ය රැල්ලෙන් ලාංකීය නිර්මාණ මිදුණු දවසට ය.එවැනි කලාවක් බිහිකිරීමට නම්  කලාවට හිතැති සියලු දෙනාගේ කැපවීම අත්‍යවශ්‍ය වේ . 

No comments:

Post a Comment